Thursday, February 5, 2015

දිනූ නිදහසේ ප්‍රතිඵල නෙළා ගනිමු


1948 පෙබරවාරි 04 වැනිදා අපි දිනාගත් නිදහස සමරන 67 වැනි සමරුව මෙවර යෙදී තිබේ. අපි දිනාගත් නිදහස පිළිබඳව ආවර්ජනය කිරීමේදී අප මතකයට පළමුව නැ‍ඟෙන්නේ යුරෝපා ජාතීන් අප රට ඔවුන්ගේ අණසකට යටත් කරගත් අයුරුය. යුරෝපා ජාතීන් අතුරින් මුලින්ම 1505 දී අප රටට පැමිණියේ පෘතුගීසි ජාතිකයන්ය. ඔවුන් ප්‍රථමව සිදුකළේ අප රටෙහි මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීමයි. නමුත් ලන්දේසීන් අප රටට පැමිණි පසු පෘතුගීසින් පලවා හරින ලදි. පසුව මෙරටෙහි මුහුදුබඩ ප්‍රදේශවල පාලනය හිමි වූයේ ලන්දේසි ජාතිකයන්ටයි. මෙසේ කල් ගෙවී යද්දී 1796 දී බ්‍රිතාන්‍යය ජාතිකයෝ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ තම ආධිපත්‍යයට නතු කර ගත්හ.
බ්‍රිතාන්‍යය පාලනය අප රටෙහි නව වෙනසකට මූලාරම්භය විය. 1796 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල තම අණසක පැතිර වූ බ්‍රිතාන්‍යයන් ක්‍රි. ව. 1815 දී සමස්ත සිරිලක් භූමියම තම යටතට ගන්නා ලදී. ආර්ථිකමය වශයෙන් හා භූගෝලීය වශයෙන් වැදගත්කමක් තිබූ ශ්‍රී ලංකාව තමන් යටතට ගැනීම බ්‍රිතාන්‍යයන්ට ඉතා විශාල වූත්, වාසිදායක වූත් ජයග්‍රහණයක් විය.
අප රටෙහි තිබූ පොල්, කුරුඳු, ගම්මිරිස්, එනසාල් වැනි දෑ ඔව්හු සිය රට ගෙන ගියහ. ලාංකිකයන් තලාපෙළා අසාධාරණ නීති හා බදු පනවමින් බ්‍රිතාන්‍යයන් ගෙන ගිය පාලනය ඉතා ඉක්මනින්ම ස්වදේශිකයන්ගේ කෝපය ඇවිස්සීමට සමත් විය.
විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයන් ජනතාව වෙත පැටවූ අධික බදු නිසා ශ්‍රී ලාංකිකයෝ ඉතා අසරණත්වයට පත්වූහ. මේ තත්ත්වය යටතේ 1818 දී උඩරට, ඉංග්‍රීසින්ට විරුද්ධව කැරැල්ලක් ඇතිවිය. එය මොණරවිල කැප්පෙටිපොළ අදිකාරම් තුමාගේ මූලිකත්වයෙන් ඇතිවූ අතර එය මර්දනය කිරීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ.
ඉන් පසු වරින් වර ඉංග්‍රීසින්ට විරුද්ධව කැරැලි කෝලාහල ඇතිවිය. ගොන්ගාලේගොඩබණ්ඩා, වීර පුරන් අප්පු සහ කඩහපොල හිමි ආදි ජාතික වීරවරයන්ගේ ප්‍රධානත්වයෙන් මේ අරගල ව්‍යාප්ත වුණි. මවුබිමේ නිදහස වෙනුවෙන් උඩරැටියන් විසින් ගෙන යන ලද විමුක්ති ව්‍යාපාර මර්දනයට ලක්විය.
1848 නිදහස් සටන පරාජය කිරීමෙන් පසුව බ්‍රිතාන්‍යයෝ තමන්ට රිසි සේ ධනය සූරා කන්නට වූහ. එපමණක් නොව ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය හා යුරෝපීය සංස්කෘතිය මෙරට ස්ථාපිත කිරීම ද ඉතා වේගවත් අන්දමින් මිෂනාරි ආගම රටපුරා ව්‍යාප්ත වීම ද සිදුවිය.
අප රටේ එතෙක් පැවැති බෞද්ධ ප්‍රබෝධය හා සංස්කෘතිය ශීඝ්‍රයෙන් විනාශ වනු දුටු සිංහල බෞද්ධ නායකයෝ විශේෂයෙන් භික්ෂුන් වහන්සේ නැවතත් අප රටෙහි ආගමික ප්‍රබෝධය ඇති කිරීමටත්, සංස්කෘතිය නඟා සිටුවීමටත් අපමණ වෙහෙසක් ගත්හ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, අනගාරික ධර්මපාල තුමා, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි සහ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ආදිහු එහිදී ප්‍රමුඛත්වය ගත්හ.
මෙසේ අරගල කරමින්, ජිවිත පූජා කරමින් අප රටට නිදහස දිනා දීමට පුරෝගාමී වූ ශ්‍රේෂ්ඨයෝ බොහෝය. නිදහස අප රටට ලබා දෙන අවදිය වෙද්දී ඉන්දියාවේ ද විශාල නිදහස් අරගලයක් දියත් වෙමින් පැවැතිණි. එය ද අප රටට නිදහස ලබා ගැනීමට බොහෝ සේ ඉවහල් විය. නිදහස ලබා ගැනීමට පුරෝගාමී වූවන් අතර ඩී. එස්. සේනානායක, පොන්නම්බලම් අරුණාචලම්, ඩී. බී. ජයතිලක, පොන්නම්බලම් රාමනාදන්, ඊ. ඩබ්ලිව්. පෙරේරා, එෆ්. ආර්. සේනානායක, ඒ. ඊ. ගුණසිංහ, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, එස්. ඒ. වික්‍රමසිංහ, ටි. බී. ජයා, සහ ඩී. ආර්. විජේවර්ධන වැනි වියත්හූ බොහෝ වූහ. නිදහස උදාවී වසර 67 ක් ගතවූ නමුත් තවමත් අප සිත් තුළ සැබෑ සිහල ගති ඇති නොවීම මහත් අරුමයකි. දිනු නිදහස ඔපවත් වීමට නම් ගතින් හා සිතින් අපි සැබෑම ශ්‍රී ලාංකිකයන් විය යුතු වෙමු.
මෑතකදී ශීඝ්‍රයෙන් පරිහානියට ලක්වෙමින් තිබෙන අපගේ සංස්කෘතික උරුමයන් ඔප් නංවමින් ලොවට ආදර්ශවත් ජාතියක් ලෙස පෙළ ගැසීමට ප්‍රමාද වී හෝ උත්සාහ ගතහොත් දිනු නිදහසින් නිසි ඵල නෙළා ගැනීමට අපට හැකිවනු ඇත.
විදුමි ජයවර්ධන
10 ශ්‍රේණිය ‘ඩී’,
ජනාධිපති බාලිකා විදුහල,
වංචාවල, ගාල්ල

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි