Tuesday, February 17, 2015

දරුවා යමක් කට තුළට දාගන්න හැදුවොත්.....????????

දරුවා යමක් කට තුළට දාගන්න හැදුවොත් කෑගසා කලබල කරන්න එපා



දරුවන්ට සිදුවන හදිසි අනතුරු අතර වැරදීමෙන් හෝ සිතාමතාම යම් යම් දේ ගිලීමද බහුලව සිදු වේ. දරුවන් තුළ පවත්නා කුතුහලය හේතුකොට ගෙන කුඩා ළමයි අතට අසුවන හැම දේම කටේ දමා ගනිති.
එසේ කිරීමෙන් නොදැනුවත්වම ගිලෙන ද්‍රව්‍ය අතර ඔවුන්ගේ සෙල්ලම් බඩුවල කුඩා කොටස්, බොත්තම්, හැට්ට කටු, යතුරු, ඉඳිකටු, කොණ්ඩ කටු, රටකජු, කඩල වැනි ඇට වර්ග, රබර් ඇට, ජිල් බෝල වැනි දේ වේ.
මේ ද්‍රව්‍යවලට අමතරව විවිධ දේ පෙවීමෙන් ද විශාල සංකූලතාවන්ට ගොදුරු වෙති.
විවිධ ආගන්තුක ද්‍රව්‍ය ගිලීමෙන් මුඛය හා ඒ අවට තුවාල වීමට ඉඩ තිබේ.
ස්වසන පද්ධතියට ඒවා ඇතුළු වුවහොත් පෙනහලුවල සැරව ගෙඩි හැදේ. ඇතැම්විට පෙනහලුවල විශාල කොටස් ඉවත් කිරීමට සිදුවේ. රටකජු වැනි ඇට වර්ග හෝ සෙල්ලම් බඩු කැබලි, බොත්තම් වැනි දේ පෙනහලු තුළට යාමෙන් විශාල අපහසුතාවලට ලක් වේ. කැස්ස තදින් ඇති වේ. ඇතැම් විට හුස්ම ගැනීමට පවා අපහසු විය හැකිය.
බහුලවම සිදුවන්නේ යම් යම් දේ කට තුළට දා ගැනීමෙන් ඒවා ආහාර මාර්ගයට පිවිසීමයි. ගලනාලයෙන් ඉහළ කොටසේ ඒවා රැඳුනහොත් එය නැවත මුඛය තුළට පැමිණීමේදී හුස්ම ගැනීම අපහසු වී බරපතළ ප්‍රතිඵල ඇතිවිය හැකිය. ගලනාලයේ රැඳී ඇත්නම් ආහාර සහ කෙළ ගිලීමට අපහසුතා ඇතිවේ. එම නිසා ගලනාලයේ ඇති ආගන්තුක කොටස් ඉවත් කළ යුතුය.
මේ ද්‍රව්‍ය ගලනාලය තුළ දිගටම රැඳී තිබීමෙන් ගලනාලය සිදුරු වේ. මාළු කටු වැනි දේ නිසා තුවාල සිදුවේ. උල් සහිත කටු, කොණ්ඩකටු, කමිසවලට අමුණන ලොකු ඇල්පෙනෙති වැනි දේ ගිලීමෙන් එවැනි තුවාල ඇතිවේ.
ගලනාලය පමණක් නොව ඒ ආශ්‍රිත රුධිර නාලවල ඇමිණීමෙන් ඒවා හිල්වී රුධිර වහනය නිසා බරපතළ තත්ත්වයක් ඇති විය හැකිය. ගලනාලය සිදුරුවීම නිසා පපු කුහරය තුළ ඇතිවන රෝග තත්ත්වය ඉතා බරපතළ වූවකි. මෙහි ඇති වැදගත් කරුණක් වන්නේ උපතින්ම හෝ පසුකාලීනව ඇති වූ සිදුරක් වේ නම් හදිසියේ යමක් ගිලුණු එවැනි දරුවකු ගේ තත්ත්වය වඩාත් දරුණු විය හැකි වීමය. යමක් ගිලීමෙන් එය හිරවී ඇත්නම් සිදුර වඩාත් සිහින් වීම නිසා ගිලින දේ ගලනාලය දිගේ පහළට යන්නේ නැත.
ආමාශයට ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වුවහොත් සාමාන්‍යයෙන් බඩවැල් දිගේ පහළට යාමේ හැකියාව වැඩිය. එහෙත් ඇතැම් ද්‍රව්‍ය උදා: යතුරු කැරලි වැනි දේ එතැනින් පහළට ගමන් කිරීමට අපහසු වී රැඳී තිබීමට ඉඩ ඇත. ඇතැම් විට ඒවා ශල්‍යකර්ම මඟින් ඉවත් කිරීමට සිදුවේ.
එසේ ගිලින බොහෝ දේ එක්ස් කිරණවලට හසුවන හෙයින් දින කිහිපයක් පුරා එක්ස් කිරණ පරීක්ෂණ මඟින් එහි චලනය පරීක්ෂා කිරීමට සිදු වේ. ඇතැම් ද්‍රව්‍ය පහළට ගමන් නොකර එකතැන රැඳී පවතින්නට ඉඩ තිබේ. ඒවා ඉවත් කිරීමට එන්ඩොස්කොපි පරීක්ෂණයක් හෝ විවෘත සැත්කමක් කිරීමට සිදුවිය හැකිය.
එසේ ගිලෙන ඇතැම් ද්‍රව්‍යවල ඇති රසායනික ද්‍රව්‍යවල පිටකවරය දියවීම නිසා ඒවා එළියට ඒමෙන් ද විෂ වීම් සිදුවේ.
ඇතැම් අවස්ථාවල නාසයට ද ආගන්තුක ද්‍රව්‍ය ඇතුළු විය හැකිය. නාසය තුළින් ඇතුළුවන දේවල් වැඩිදුරක් ගමන් නොකරන නමුත් නාසයේ සිදුර අවහිර කළ හැකිය. එහෙයින් නාසය තුවාල වීම මෙන්ම නාසය පැසවීම සිදුවිය හැකිය.
කුඩා දරුවන් සිටින මවුපියන් ඉහත කරුණු දැන සිටීම ඉතා වැදගත්ය. කුඩා දරුවකු සිටින නිවසක මෙවැනි අනතුරුදායක දේ අතට අසුවන සේ නොතැබිය යුතුය. බොහෝ සෙල්ලම් බඩුවල අවුරුදු 3න් පහළ අයට නුසුදුසු බවට අනතුරු හඟවා තිබේ.
කුඩා දරුවකු යමක් කට තුළට දමා ගන්නට උත්සාහ කරන විට කෑ ගැසුවොත් සිදුවන්නේ ඔහු වහාම එය කට තුළට දමා ගැනීමයි. එහෙයින් කළ යුත්තේ කෑගසා කලබල නොකර හැකි විගස එය ළමයාගේ අතින් හෝ මුඛයෙන් ඉවත් කිරීමය.
එක්ස් කිරණවලට නොපෙනෙන ආගන්තුක ද්‍රව්‍යයක් ගිලුණොත් ඒවා හඳුනා ගැනීමේ අපහසුතාවක් පවතී. එවිට විශේෂිත වූ වෙනත් පරීක්ෂණ කිරීමට සිදුවේ. එය සරල එක්ස් කිරණ පරීක්ෂණයට වඩා බරපතළ වේ.
මීට අමතරව ඇතැම් දරුවන් එවැනි ආගන්තුක ද්‍රව්‍ය කන තුළට, ගුද මාර්ගයට හෝ මුත්‍රා මාර්ගයට ඇතුළු කරගනී.
එවැනි තත්ත්වයක් ඇත්දැයි හඳුනාගත හැක්කේ යෝනි මාර්ගයෙන් සැරව ගැලීම, ඉදිමීම හෝ රත්පැහැ ගැනීම, ගුද මාර්ගයෙන් ලේ ගැලීම හෝ සැරව ගැලීම වැනි ලක්ෂණ පහළ වූ විටය. කාර්යබහුල මවුපියන් තම දරුවන් වෙනත් අයට බලා ගන්නට දෙන විට මේ කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
වර්තමානයේ නිවෙස්වල විවිධ රසායන ද්‍රව්‍ය සහිත දේ බහුලව භාවිතා කෙරේ. අතීතයේ මෙන් නොව අද නිවෙස්වල රෙදිපිළි, පිඟන් කෝප්ප, ගෙබිම, නාන කාමර, වැසිකිළි පවිත්‍ර කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු කුඩු වර්ග, විවිධ වර්ණ සහිත දියර වර්ග බහුලව භාවිතා කැරේ. මේවා දරුවන් අතට අසු නොවන සේ ගබඩා කිරීමෙන් ළමයි ඒවා කෑමට හෝ බීමට ඉඩ තිබේ. ඇතැම් සෝදන දියර විවිධ වර්ණැති ඒවාය. ඒවා බීම වර්ගයකැයි රැවටී දරුවෝ ඒවා කටේ දමා ගනිති.
සුළු ප්‍රමාණයක් ශරීර ගත වුවත් දරුවනට සංකූලතා ඇතිවිය හැකිය. එවැනි දේ ශරීරගත වූ විට විවිධ දියර වර්ග බීමට දී වමනය කිරීමට උත්සාහ නොකළ යුතුය. එවැනි අවස්ථාවක කළ යුත්තේ දරුවා වහාම වෛද්‍යවරයා හෝ රෝහල වෙත රැගෙන යාමය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
ආනන්ද ළමාහේවා

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි